07/08/2024
ක්‍රිකට් පුහුණුකරුවකු සතු විය යුතු කිසිඳු මූලික පුහුණු සහතිකයක් සනත් ජයසූරියට නැත.
ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරු වීම දක්වා පැමිණි ගමන් මග ද නිවැරදිම මාර්ගය නොවේ.
ක්‍රීඩකයෙකු වශයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට සිදු කළ සේවය නිසා එක් වූ සමාජ ප්‍රාග්ධනය යහමින් වැය කරමින් කෙටි මගක් ඔස්සේ ඔහු එම තනතුරට පත්විය.
එම ගමනේ දී තමන් සතු සිවිල් බලය, මාධ්‍ය බලය සහ සබඳතා භාවිතා කිරීමට ඔහු දෙවරක් සිතුවේ නැත.
එනමුත් එම සනත් ජයසූරිය සතුව විදෙස් පුහුණුකරුවන් සතු නොවූ බොහෝ ගුණාංග පවතියි.
ක්‍රීඩා කරන සමයේත්, ඉන් පසුව නිලධාරියෙකු වශයෙන් ද සනත් පරාජය පිළිගැනීමට ප්‍රිය පුද්ගලයකු නොවේ.
1996 ලෝක ශූර ශ්‍රී ලංකා කණ්ඩායම, 99 ලොකු කුසලානයේ මුල් වටයෙන්ම ඉවත් වූ මොහොතේ ශ්‍රී ලංකා ක්‍රිකට් සුක්කානම භාර වූයේ සනත් ජයසූරියටයි.
එම වගකීම ඔහු කොතරම් සාර්ථකව ඉටු කළේ ද යත් 2002 ශූරයන්ගේ කුසලානයේ සම ශූරතාවය පවා ශ්‍රී ලංකාවට දිනා දීමට ඔහු සමත් විය.
බලපෑමෙන් ද, දත්ත වාර්තා අතින්ද සනත් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ සාර්ථකම නායකයෙකි.
ඔහු කිසිසේත්ම පරාජය භාර ගැනීමට සූදානම් වූ ක්‍රීඩකයෙක් නොවේ.
අර්ජුන සෙවණේ හැදී වැඩුණු සනත් විශ්වාස කරන්නේත්, අනුගමනය කරන්නේත් අරජුන ගේ ක්‍රමවේදයමය.
ඔහු දැඩි නායකයෙකි. තමන් සතු අධිකාරී බලය උපරිම වශයෙන් භාවිතා කිරීමට ඔහු දෙවරක් හිතන්නේ නැත.
2003 ලොක කුසලාන තරගයකදී උඩ පන්දුවක් අත්හැරුණු නිසා සිය ආරම්භක පිතිකරණ සගයා සහ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෙකු වූ මාවන් අතපත්තු සමග ඔහු සතියක් කතා නොකළ බව මාවන් කීවේ මෑතකය.
සනත් එවැනි ක්‍රීඩකයෙකි.
පුහුණුකරුවෙකු වශයෙන් ස්ථිර තනතුරක් දරද්දීත්, ඔහු එලෙසින්ම ක්‍රිකට් රසිකයන්ට වගකීමෙන් බැඳී සිටියි.
සිය කීර්ති නාමය සෘජුවම සම්බන්ධ නොවන තනතුරක කෙසේ වෙතත්, සිය කීර්ති නාමය සෘජුව රසිකයන් ඉදිරියේ ඔට්ටු තැබූ අවස්ථාවක සනත් ජයසූරිය පරාජය පිළිගැනීමට සූදානම් නැත.
පුහුණුකරු සනත් ජයසූරිය යටතේ ජාතික කණ්ඩායමට විදෙස් පුහුණුකරුවන්ගෙන් ලැබුණු විශාල තාක්ෂණික සහ උපක්‍රමශීලී සැලසුම් නොලැබෙනවා වන්නට ඇත.
එයින් අදහස් කෙරෙන්නේ සනත් ක්‍රිකට් නොදන්නා පුද්ගලයෙකු යන්න නොවේ.
ඔහු ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳ විශාල දැනුම් සම්භාරයක් සහිත පුද්ගලයෙකි.
ඔහු සතු රික්තකය වන්නේ නූතන විද්‍යාත්මක පුහුණු න්‍යායන් පිළිබඳ දැනුමක් නොමැති වීමයි.
එනමුත් පුහුණුකරු සනත් ජයසූරියගෙන් ජාතික කණ්ඩායමට හිමිවන දේ කිසිදිනෙක විදෙස් පුහුණුකරුවන්ගෙන් නොලැබේ.
ඒ පාලනයයි. දැඩි බවයි. අධිකාරී බලය යොදාගැනීමයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ඉහළ උපයෝගිතා මධ්‍යස්ථානය (High Performance Centre) ආරම්භ කළ දා පටන් එහි සේවයට පැමිණි විදෙස් පුහුණුකරුවන් මෙරට ක්‍රීඩකයන්ගේ පුහුණුවීම් අතිශය සීමා කළේය.
එය ඔවුන් හැඳින්වූයේ කාර්ය කළමනාකරණය (Workload management) ලෙසයි.
එය නූතන වෘත්තීමය ක්‍රීඩාවේ අතිශය නවීන සංකල්පයක් ලෙස ඔවුන් හඳුන්වා දුන්නේය.
ඒ අනුව පන්දු යවන්නෙකුට දැල තුළ පන්දු යැවීමට ලැබුණේ සීමිත කාලයකි. පිතිකරුවකුටද එසේමය.
එයින් මේ විදෙස් පුහුණකරුවන් බලාපොරොත්තු වූයේ ක්‍රීඩකයන් ආබාධ වලින් ආරක්ෂා කිරීමයි.
එය මෙරට කාලක් පුරා පැවත ගෙන ආ ක්‍රිකට් සංස්කෘතියට නම් පටහැනි රටාවකි.
පුහුණුකරු සනත් ජයසූරිය මේ නූතන න්‍යායන් දන්නේ නැත.
දැන සිටියත් ඔහු ඒවා මායිම් කරන්නේද නැත.
ඔහු දන්නේ අර්ජුන ලා, දුලිප් මෙන්ඩිස් ලා යටතේ ක්‍රීඩකයන් පැය ගණන් පුහුණු වූ අතීතයයි.
පිතිකරුවන් පවා පන්දු යැවීම පුහුණු වීම අනිවාර්ය වූ අතීතයයි. පන්දු යවන්නන් පවා දැල් තුල පැය ගණන් පුහුණු වූ අතීතයයි.
අතීතයේ අතිරේක පැය කිහිපයක් පන්දු රැකීමේ පුහුණුවීම් සඳහා වෙන් වූ අතර, ක්‍රීඩකයන් පුහුණුව අවසන් කරන්නේ තවදුරටත් වෙහෙස වීම සිරුරට දරා ගත නොහැකි තැනයි.
එනමුත් ඔවුන්ට බොහෝ ආරක්ෂිතව රැක බලාගන්නා වත්මන් ක්‍රීඩකයන්ට තරම් ආබාධ ගැටළු තිබුණේ ද නැත.
සනත් ඒ අතීත පුහුණු වැඩසටහන යළිත් මෙරට ජාතික කණ්ඩායමට හඳුන්වා දී තිබේ.
බැලූ බැල්මට පෙනෙන්නේ එය සාර්ථක බවයි.
එමෙන්ම ක්‍රීඩකයෙකු වගකීම් විරහිත පහරක් එල්ල කර කඩුල්ල විසි කර පැමිණෙන අවස්ථාවක විදෙස් පුහුණුකරුවෙකුගෙන් ලැබෙන්නේ න්‍යායාත්මක දේශනයකි.
සනත්ගෙන් එසේ නොවේ.
අදාල ක්‍රීඩකයාට කණ්ඩායම ඉදිරියේදීම ශුද්ධ සිංහලෙන් කන් පිරෙන තරමේ දේශනයක් හිමි වේ.
සැබැවින්ම වත්මන් ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට වැටහෙන්නේත්, ඔවුන් පාලනය කළ හැක්කේත් සනත් ගේ ක්‍රමවේදයෙනි.
සනත් ප්‍රායෝගික ක්‍රිකට් දන්නා මිනිසෙකි. ක්‍රිකට් ක්‍රීඩාව වෙනස් කළ, එහි ලබා ගත හැකි සියලූම ජයග්‍රහණ ලැබූ ක්‍රීඩකයෙකි.
වත්මන් කණ්ඩායමේ ගැටළුව වූයේ ඔවුන් සතු උපක්‍රමශීලී සැලසුමේ රික්තකයක් නොවේ.
ක්‍රීඩකයන්ගේ කැපවීමේ සහ ඕනෑකමේ ගැටළුවකි.
ඒ අඩුව පුරවාලිය හැක්කේ සනත් ජයසූරිය වැනි දැඩි සහ අධිකාරී බලය යොදා ගැනීමට මැලි නොවන පුහුණුකරුවෙකුටය.
මෙරට ක්‍රිකට් සංස්කෘතිය අතීතයේ සිට ගොඩනැගුණේ "අයියා", "මල්ලි" සංස්කෘතියෙනි.
එකල කණ්ඩායමේ ජ්‍යේෂ්ඨ අයියා ලා විසින්, මල්ලි ලා පාලනය කරනු ලැබීය.
පුහුණුකරුට හෝ නායකයාට නම කියා අමතන සංස්කෘතියක් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට පැමිණියේ මෑතකයි.
මේ තීරණාත්මක මොහොතේ සනත් ජයසූරිය ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට ගැලපෙන පුහුණුකරුවකු වන්නේ එම අතීත ක්‍රිකට් සංස්කෘතිය යළි ඇති කළ හැකි පුද්ගලයා ඔහු වීම නිසයි.
දක්ෂ එනමුත් කැපවීමේ අඩුවක් නිසා පරාජය වන කණ්ඩායමකින් උපරිමය ගන්නා කලාව සනත් දන්නා බව පෙනෙයි.
මේ මොහොතේ කඩා වැටී තිබෙන ශ්‍රී ලංකා කණ්ඩායමට අවශ්‍ය නූතන පුහුණු න්‍යායන් සහ විද්‍යාත්මක ක්‍රමවේද පිළිබඳ පූර්ණ දැනුම ඇත්තෙකුටත් වඩා, හොඳින් හෝ නරකින් කණ්ඩායමෙන් උපරිමය ගන්නා පුහුණුකරුවෙකි.
හිතුවක්කාර තරුණයන් පාලනය කළ හැකි පුහුණුකරුවෙකි.
ඔවුන් වෘත්තීමය ක්‍රීඩකයන් දක්වා පරිණාමය වූ පසුව, අවශ්‍ය නම් උපක්‍රමශීලි සැලසුම් සහ විද්‍යාත්මක ක්‍රමවේදයන් හි විශේෂඥ විදෙස් පුහුණුකරුවෙකුගේ සහය ලබා ගත හැක.
නමුත් මේ මොහොතේ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම, සිය වගකීම හඳුනන වෘත්තීය ක්‍රීඩකයන්ගේ තත්ත්වයට පැමිණ නැත.
මේ මොහොතේ ඔවුන්ට අවශ්‍ය අධිකාරී බලය යොදා හෝ එම තත්ත්වයට ගෙන යා හැකි සනත් ජයසූරිය පන්නයේ පුහුණුකරුවෙකි.
- Ireshan Siriwardhana -
2024. 08. 06