08/11/2023
ක්‍රිකට් ක්‍රීඩකයෙකුගේ විනෝදාංශ පවා ඔහුගේ ක්‍රීඩා ජීවිතයට කොතරම් වැදගත් ද යන්නට ග්ලේන් මැක්ස්වෙල් හොඳ උදාහරණයක්.
ග්ලේන් මැක්ස්වෙල් ගේ විනෝදාංශය ගොල්ෆ් ක්‍රීඩා කිරීම. ඔහු දක්ෂ ගෝල්ෆ් ක්‍රීඩකයෙක්.
ගෝල්ෆ් ක්‍රීඩාවේදි පාද චලනයක් නැහැ. එහිදී බාහු බලය සහ යටි අතේ බලය වැඩි වශයෙන් යොදා ගැනෙනවා.
ඊයේ ඇෆ්ගනිස්තානයට එරෙහි තරගයේ අති විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කළ ග්ලේන් මැක්ස්වෙල් ට, ගෝල්ෆ් ක්‍රීඩාවේ අත්දැකීම් සහ හුරුව අනිවාර්යෙන්ම උපයෝගි වන්නට ඇති.
පාදයේ ආබාධයක් හේතුවෙන් තරගයේ අතරමැද දී මැක්සි ට පාද චලනයන් කිරීමට අපහසු වුණා.
කඩුලු අතර දුවගොස් ලකුණු ලබා ගැනීමේ අවස්තාව ද අහිමි වුණා.
ඔහුට ඉතිරි වූ එකම විකල්පය පාද චලනයන් නොමැතිව, එකම තැනක හිඳිමින් යටි අතේ බලයෙන් හයේ, හතරේ ලකුණු රැස් කිරීමයි.
ඔහු එය ඉතා සාර්ථකව කළා.
මැක්ස්වෙල් ගේ යටි අත ඉතාමත් ශක්තිමත්. ඔහුගේ බාහු බලය ඉතා වැඩියි.
ක්‍රිකට් ක්‍රීඩාව මෙන්ම ගෝල්ෆ් ක්‍රීඩාවෙන් ලැබෙනා පුහුණුවත් ඊට හේතු වෙන්නට ඇති.
පාද චලන නොමැතිව බාහු බලයෙන් පමණක් මැක්ස්වෙල් ඊයේ ලකුණු සියයක් (දෙවන සියය) රැස් කළා.
එය ලොව එදාමෙදා තුර එක්දින පිටියේ ක්‍රීඩකයෙකු රැස් කළ විශිෂ්ඨතම ඉනිමක්.
එම ඉනිමෙන් ග්ලේන් මැක්ස්වෙල් ඕස්ට්‍රේලියාවට නොතිබූ ජයග්‍රහණයක් ගෙන ආවා.
මේ තනි ක්‍රීඩකයාගේ සුපිරි ඉනිම ලෝක කුසලානය තුල නිසැකවම ඕස්ට්‍රේලියානුවන්ට නැවත පිබිදීමකට හේතු වන්නට ඇති.
ග්ලේන් මැක්ස්වෙල් ගේ විනෝදාංශය ඔහුගේ ක්‍රීඩාවටත්, කණ්ඩායමටත් යහපත් අන්දමින් බලපෑවේ එහෙමයි.
ග්ලේන් මැක්ස්වෙල්ට වගේම ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ටත් විනෝදාංශ තියෙනවා.
එක් ශ්‍රී ලංකා ක්‍රීඩකයෙක් වෘත්තීය මට්ටමේ වීඩියෝ ක්‍රීඩා (Video Games) කරන්නෙක්.
පබ් ජී (Pub G) ක්‍රීඩාවේ ලොව විශිෂ්ඨතම ක්‍රීඩකයන් අතර ඔහු සිටිනවා.
තවත් ක්‍රීඩකයෙකු ඩේටිං ඇප්ස් (Dating Apps) හරහා සුදු ජාතික තරුණියන් එකතු කරනවා.
තවත් ක්‍රීඩකයෙකුගේ විනෝදාංශය සමාජ ජාලා මාධ්‍ය.
මෙවැනි විනෝදාංශ රාශියක් ඔවුන්ට තියෙනවා.
මේවා ග්ලෙන් මැක්ස්වෙල් ගේ විනෝදාංශ වලින් වෙනස්.
මෙවැනි විනෝදාංශ ක්‍රිකට් ක්‍රීඩාවට හෝ පිටියට ගෙන එන ධනාත්මක බලපෑමක් නැහැ.
සැබැවින්ම ඔවුන්ගේ විනෝදාංශ ක්‍රීඩාවට අයහපත්, සෘණාත්මක බලපෑම් ගෙන එනවා පමණයි.
ඇෆ්ගනිස්තානය හමුවේ ඕස්ට්‍රේලියාව පරාජය වීමට තිබූ තරගයක් ජය ගනිද්දී, ශ්‍රී ලංකා කණ්ඩායම බංග්ලාදේශයට පරාජය වූයේ ජයගත හැකිව තිබූ තරගයක්.
තරගය ශ්‍රී ලංකාවට අත හැරුණේ ගිලිහුනු උඩ පන්දු නිසා.
පහසු උඩ පන්දු කිහිපයක්ම ශ්‍රී ලංකා පන්දු රකින්නන් අත්හැරියා.
කලක් ලොව හොදම පන්දු රකින්නන් වූත්, පන්දු රැකීමෙන් තරග පවා ජයගත් ශ්‍රී ලංකාව, මෙවර ලෝක කුසලානයේ වැඩිම උඩ පන්දු ගණනක් අතහැරි කණ්ඩායමයි.
සෑම උඩ පන්දු තුනෙන් එකක් ශ්‍රී ලංකා කණ්ඩායම අතහැරලා.
ක්‍රිකට් ක්‍රීඩාවේ පන්දු රැකීම පුහුණුවෙන්ම ප්‍රගුණ කළ යුතු හැකියාවක්.
අති දක්ෂ පන්දු රකින්නන් බිහි වෙන්නේම පුහුණුවෙන්.
පන්දු රැකීමේ සූත්‍රය සරලයි.
පුහුණුවේ පරිමාවට පන්දු රැකිමේ හැකියාව අනුලෝවම සමානුපාතිකයි.
අතීත ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු රැකීමෙන් සෑම විටකම ඉහළින් සිටියා.
අතීත ක්‍රීඩකයන්ගේ කැපවීමත්, පුහුණුවට ඔවුන් යෙදූ කාලයත් එයට හේතු වුණා.
වරෙක ඕස්ට්‍රේලියානු චිවාරක ටෝනි ග්‍රේග් ශ්‍රී ලංකා කණ්ඩායමට කිව්වේ 'මේ කුඩා ශ්‍රී ලාංකිකයන් සෑම දෙයක්ම රැක ගන්නවා' (These little Sri Lankans catch everything) කියලයි.
ක්‍රිකට් ලෝකයේ ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දු රැකිමෙන් එවැනි කීර්ති නාමයක් තිබුණා.
ඒ ගෞරවය අතරේ හැංගිලා තිබුණේ පුහුණුව, දහදිය සහ කැපවීම.
වර්තමාන ශ්‍රී ලංකාව ලෝකයේ දුර්වලම පන්දු රකින්නන් වෙන්නේ අහම්බයකින් නොවෙයි.
ඔවුන් පුහුණුව, දහදිය සහ කැපවීම නොහඳුනන නිසා.
පුහුණු වීමට වෙන් කර ඇති කාලයේ
කණ්ඩායමේ පිතිකරුවන් පිතිකරනයත්, පන්දු යවන්නන් පන්දු යැවීමත් පුහුණු වෙනවා.
ඒ අතරත් ඔවුන් විවේක ගන්නවා. සිංදු අහනවා.
පන්දු රැකීම වෙනම පුහුණු විය යුතු අංශයක් ලෙස ඔවුන් දකින්නේ නැහැ.
ඒ වෙනුවෙන් ඔවුන් කාලය වැය කිරීමට සුදානම් නැහැ.
ඔවුන් හිරු රශ්මියටත්, දහදියටත් එතරම් ප්‍රිය නැහැ.
රසිකයන් බලාපොරොත්තු වන ජයග්‍රාහී, ඉපැරණි ශ්‍රී ලංකා ක්‍රිකට් සන්නාමය ගොඩ නැගීම පහසු දෙයක් නොවෙයි.
ඒ සඳහා ක්‍රිකට් පාලක මණ්ඩල ඉවත් කළා සේම, ක්‍රීඩකයන්ගේ අලස, විනෝදකාමී ආකල්පත් ඉවත් කළ යුතුයි.
උනන්දුව, කැපවීම සහ වෘත්තීමයභාවය ආදේශ කළ යුතුයි.
එවැන්නක් බාහිර බලපෑමකින් ගොඩ නැගීම කළ නොහැකියි. ඒවා තමන් තුලින්ම පැමිණිය යුතු ගුණාංගයි.
මෙරට ක්‍රිකට් ක්‍රීඩාව මුහුන දෙන බරපතල අර්බුධයේ, විසඳීමට අසීරුතම ගැටලුව එයයි.
- ඉරේෂාන් සිරිවර්ධන -
2023. 11. 08