28/05/2026
ජිම් එකකට යන ඕනෑම කෙනෙකුට, විශේෂයෙන්ම අලුතින් ජිම් එකකට යන කෙනෙකුට මුලින්ම එන ලොකුම ප්‍රශ්නයක් තමයි මේ බර උස්සන වේගය, එහෙමත් නැත්නම් රෙප් ටෙම්පෝ එක ගැන තියෙන ප්‍රශ්නය.
ඔබ ජිම් එකට ගියාම දැකලා ඇති සමහර අය ඉතාමත් වේගයෙන් බර උස්සනවා සහ පහළට දානවා. තවත් සමහර අය, හරියට ස්ලෝ මෝෂන් වීඩියෝ එකක් වගේ, ඉතාමත් හෙමින්, තත්පර ගාණක් අරගෙන බර උස්සනවා. මේ අයගෙන් ඇහුවොත් කියන්නේ, මල්ලි, බර හෙමින් ඉස්සුවාම තමයි මසල් එකට හොඳටම වදින්නේ, මසල් එක ඉක්මනට හැදෙන්නේ කියලා. මේකට ෆිට්නස් ලෝකයේ කියන්නේ ටයිම් අන්ඩර් ටෙන්ෂන් ක්‍රමය කියලා.
නමුත්, සැබෑ විද්‍යාව මේ ගැන මොකද කියන්නේ? අපි අද මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ හිතලු මත ගැන නෙවෙයි. ලෝකයේ පිළිගත්, අතිශය සාර්ථක විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත විශ්ලේෂණයන් පදනම් කරගෙන, බර උස්සන වේගය ඇත්තටම අපේ මාංශ පේශී වර්ධනයට, එහෙමත් නැත්නම් මසල් හයිපර්ට්‍රොෆි වලට කොහොමද බලපාන්නේ කියන එක ගැනපූර්ණ පශ්චාත් මරණ පරීක්ෂණයක් වගේ දෙයක් කරන්නයි අපි අද ලෑස්ති වෙන්නේ.
ඔබත් ජිම් එකේ මහන්සි වෙලා වැඩ කරන, ඒත් හරියටම ප්‍රතිඵලයක් ලබාගන්න නිවැරදි ක්‍රමය හොයන කෙනෙක් නම්, මේ වීඩියෝ එක මුල ඉඳන් අගටම බලන්න. වීඩියෝ එකට යන්න කලින් පේජ් එක ෆලෝ කරලා නැත්නම් දැන්ම ෆලෝ කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම තව සුභ ආරංචියක් තමයි online Coaching වලට සම්බන්ධ වෙන්න ඉන්න ඔයාලට මම දැන් මගේම ඇප් එකක් හරහා තමයි ඔයාලට training කරන්නේ, කැමති කෙනෙක් ඉන්නවනම් වට්සැප් මැසේජ් එකක් දාලා ජොයින් වෙන්න. හරි, අපි යමු වීඩියෝ එකට!
අපි මුලින්ම තේරුම් ගන්න ඕනේ අපි බරක් උස්සනකොට සහ පහත් කරනකොට අපේ මාංශ පේශියකට ඇත්තටම මොකද වෙන්නේ කියන එක. සාමාන්‍යයෙන් ඕනෑම ව්‍යායාමයක ප්‍රධාන අවස්ථා තුනක් තියෙනවා නමුත් මෙම පරීක්ෂණය සඳහා අපි යොදාගන්නේ ප්‍රධාන අවස්ථා දෙකයි.
පළවෙනි එක තමයි කොන්සෙන්ට්‍රික් ෆේස් එක. ඒ කියන්නේ අපි බර ඉහළට ඔසවන අවස්ථාව. උදාහරණයක් විදිහට ඔයා බයිසෙප් කර්ල් එකක් කරනවා නම්, වැලමිට නමලා ඩම්බෙල් එක උඩට උඩට උස්සන අවස්ථාව තමයි මේ. මෙතැනදී අපේ මාංශ පේශිය සංකෝචනය වෙනවා, එහෙමත් නැත්නම් කෙටි වෙනවා.
දෙවැනි අවස්ථාව තමයි ඊසෙන්ට්‍රික් ෆේස් එක. ඒ කියන්නේ ඔසවපු බර නැවතත් පහළට ගෙන එන අවස්ථාව. මෙතැනදී සංකෝචනය වෙලා තිබුණු මාංශ පේශිය නැවතත් දිග හැරෙනවා.
ගොඩක් අය හිතාගෙන ඉන්නේ මේ අවස්ථා දෙකේදීම අපි ඉතාමත් මන්දගාමීව, ඒ කියන්නේ හෙමින් මේ චලනය සිදු කළොත් අපේ මාංශ පේශියට දැනෙන පීඩනය වැඩි වෙලා එය ඉක්මනින් වර්ධනය වෙනවා කියලා. නමුත්, ලෝකයේ ප්‍රකට විද්‍යාත්මක නාලිකා සහ පර්යේෂකයන් විසින් සිදු කරපු දැවැන්ත දත්ත විශ්ලේෂණයකින්, එහෙමත් නැත්නම් මෙටා ඇනලිසිස් එකකින් මේ ගැන සම්පූර්ණයෙන්ම වෙනස් කතාවක් තමයි කියවෙන්නේ.
මේ මෙටා ඇනලිසිස් එක සාමාන්‍ය පර්යේෂණයක් නෙවෙයි. මේ සඳහා වෙන වෙනම කරපු පර්යේෂණ දාහතරක දත්ත එකතු කරලා තියෙනවා. ඒ වගේම පුද්ගලයන් දෙසිය හැත්තෑ අට දෙනෙකුගේ දත්ත මේ සඳහා පාදක කරගෙන තියෙනවා. ඒ නිසා මේ දත්ත ඉතාමත් විශ්වාසදායකයි කියලා අපිට පුරෝකථනය කරන්න පුළුවන්. මේ පර්යේෂකයන්ගේ මූලික අරමුණ වුණේ, වේගයෙන් බර උස්සන එකද, නැත්නම් හෙමින් බර උස්සන එකද මාංශ පේශී වර්ධනයට වඩාත්ම හොඳ කියලා හරියටම හොයාගන්න එකයි.
ඉතින් මොකක්ද මේ පර්යේෂණ වල අවසන් ප්‍රතිඵලය? අපි මුලින්ම බලමු කොන්සෙන්ට්‍රික් ෆේස් එක, ඒ කියන්නේ බර ඉහළට ඔසවන අවස්ථාව.
මේ පර්යේෂණයේදී වේගයෙන් බර උස්සන කණ්ඩායමකුත්, සාමාන්‍ය හෝ මන්දගාමී වේගයෙන් බර උස්සන කණ්ඩායමකුත් සන්සන්දනය කළා. ප්‍රතිඵලය තමයි, මේ කණ්ඩායම් දෙක අතර මාංශ පේශී වර්ධනයේ වෙනස සටහන් වුණේ බිංදුවයි දශම බිංදුවයි හයක අගයක් විදිහට.
මේ සංඛ්‍යානමය වචන ටිකක් අමාරුයි වගේ නම් මම මේක සරලව ප්‍රතිශතයක් විදිහට කියන්නම්. මේ කණ්ඩායම් දෙකේ ප්‍රතිඵල අතර වෙනස සියයට බිංදුවයි දශම නමයක් වගේ ඉතාමත් කුඩා, නොගැනිය හැකි තරමේ සුළු අගයක්.
මේක තේරුම් ගන්න මම හොඳ උදාහරණයක් දෙන්නම්. හිතන්න ඔයා බැංකුවක සල්ලි තැන්පත් කරනවා කියලා. එක බැංකුවක් ඔයාට සියයට පහක පොලියක් දෙනවා. අනිත් බැංකුව සියයට පහයි දශම ඒකක පොලියක් දෙනවා. මේ දශම ඒකක වෙනස නිසා ඔයාගේ මුළු ජීවිත කාලය පුරාවටම පුරුදු වෙලා හිටපු බැංකුව වෙනස් කරලා අලුත් බැංකුවකට යනවද? ප්‍රායෝගිකව ගත්තාම මේකෙන් ඔයාගේ ආර්ථිකයට ලොකු බලපෑමක් වෙන්නේ නැහැ නේද? අන්න ඒ වගේ තමයි. ඔයා බර උස්සන්න සාමාන්‍ය වේගයක් පාවිච්චි කළත්, ටිකක් වේගයෙන් පාවිච්චි කළත්, මාංශ පේශී වර්ධනයේ ඇතිවෙන වෙනස ඉතාමත් සුළුයි. ඒක ප්‍රායෝගිකව අපිට බලපාන්නේ නැති තරම්.
එසෙන්ට්‍රික් ෆේස් එක, ඒ කියන්නේ බර පහත් කරන අවස්ථාව ගැන බැලුවත් ප්‍රතිඵලය ඕකම තමයි. ලොකු වෙනසක් නැහැ.
එහෙනම්, අර මම කලින් කිව්ව සුපර් ස්ලෝ ක්‍රමය, ඒ කියන්නේ තත්පර දහයක් අරගෙන බර උස්සලා, තත්පර හතරක් අරගෙන බර පහත් කරන ක්‍රමය ඇත්තටම සාර්ථකද? ගොඩක් අය හිතන්නේ මෙහෙම හෙමින් කරනකොට මසල් එකට හොඳට වදිනවා, ඒක නිසා මසල් එක ඉක්මනට ලොකු වෙනවා කියලා.
නමුත් යාලුවනේ, විද්‍යාව අපිට පෙන්වා දෙන තිත්ත ඇත්ත තමයි, මේ සුපර් ස්ලෝ ක්‍රමය මාංශ පේශී වර්ධනයට අහිතකර ලෙස බලපානවා කියන එක!
ඔයාට දැන් ප්‍රශ්නයක් ඇති ඇයි මේ සුපර් ස්ලෝ ක්‍රමය අසාර්ථක කියලා. මම ඒක සරලව පැහැදිලි කරන්නම්.
හිතන්න ඔයා සාමාන්‍යයෙන් කිලෝ පනහක බරක් පාවිච්චි කරලා චෙස්ට් ප්‍රෙස් එකක් ගහනවා කියලා. මේක ඔයාගේ උපරිම ශක්තියෙන් සියයට අසූවක් කියලා හිතමු. ඔයා මේ බර සාමාන්‍ය වේගයකින්, ඒ කියන්නේ තත්පර එකක් උඩට, තත්පර දෙකක් පහළට වගේ ගහනකොට ඔයාට රෙප්ස් අටක් හෝ දහයක් ගහගන්න පුළුවන්.
නමුත්, ඔයා අර තත්පර දහයක් අරගෙන බර උස්සන එක සුපර් ස්ලෝ ක්‍රමයට යන්න හැදුවොත්, ඔයාට කවදාවත් අර කිලෝ පනහක බර පාවිච්චි කරන්න බැහැ. ඔයාට සිද්ධ වෙනවා ඔයාගේ බර ප්‍රමාණය විශාල වශයෙන් අඩු කරන්න. සමහරවිට ඔයාගේ උපරිම ශක්තියෙන් සියයට තිහක් හෝ හතළිහක් දක්වා, ඒ කියන්නේ කිලෝ පහළොවකට විස්සකට වගේ ඔයාට බර අඩු කරන්න වෙනවා.
මෙන්න මෙතැනයි ලොකුම ප්‍රශ්නය තියෙන්නේ. අපේ මාංශ පේශියක් වර්ධනය වෙන්න බලපාන ප්‍රධානතම සාධකය වෙන්නේ මෙකැනිකල් ටෙන්ෂන් එහෙමත් නැත්නම් යාන්ත්‍රික ආතතිය. ඒ කියන්නේ ප්‍රමාණවත් බරක් එසවීම මගින් මාංශ පේශී තන්තු වලට ලබා දෙන ඇදීම සහ පීඩනය. ඔයා බර අඩු කරපු ගමන්ම මේ යාන්ත්‍රික ආතතිය අඩු වෙනවා.
මතක තියාගන්න, අපේ මාංශ පේශී වලට වෙලාව මනින්න ඔරලෝසුවක් නැහැ. ආහ් මේ මනුස්සයා තත්පර දහයක් තිස්සේ මට වද දෙනවා, මම දැන් ලොකු වෙන්න ඕනේ කියලා මසල් එක හිතන්නේ නැහැ. මසල් එකට තේරෙන්නේ එකම එක දෙයයි. ඒ තමයි බර, එහෙමත් නැත්නම් ටෙන්ෂන් එක.
මේ යාන්ත්‍රික ආතතිය කොහොමද මසල් එකක් ලොකු කරන්නේ කියලා අපි තව පොඩ්ඩක් ගැඹුරට ගිහින් බලමු. මේක තේරුම් ගත්තොත් ඔයාට කවදාවත් ජිම් එකේදී වැරදෙන්නේ නැහැ.
අපේ ශරීරයේ ප්‍රධාන වශයෙන් මාංශ පේශී තන්තු වර්ග දෙකක් තියෙනවා. ටයිප් වන් සහ ටයිප් ටූ.
ටයිප් වන් තන්තු ගොඩක් දුරට දරාගැනීමේ හැකියාව වෙනුවෙන් හැදිලා තියෙන්නේ. මැරතන් දුවන අයගේ මේවා ගොඩක් ක්‍රියාකාරීයි. හැබැයි මේවා ප්‍රමාණයෙන් ලොකු වෙන්නේ හරිම අඩුවෙන්.
අනෙක් එක තමයි ටයිප් ටූ තන්තු. මෙන්න මේවා තමයි අපිට වැදගත් වෙන්නේ. මේවා නිර්මාණය වෙලා තියෙන්නේ හදිසි, විශාල ශක්තියක් ලබා දෙන්න. ඒ වගේම මේවාට තමයි උපරිමයෙන් ප්‍රමාණයෙන් විශාල වීමේ හැකියාව තියෙන්නේ. බෝඩි බිල්ඩර්ස්ලාගේ ලොකුවට පේන්න තියෙන්නේ මේ ටයිප් ටූ තන්තු තමයි.
ඔයා සාමාන්‍ය බරකින් ව්‍යායාමයක් පටන් ගන්නකොට මුලින්ම වැඩ කරන්නේ අර කුඩා ටයිප් වන් තන්තු. හැබැයි ඔයා සෙට් එක දිගටම කරගෙන යනකොට, ඔයාගේ මාංශ පේශිය වෙහෙසට පත් වෙන්න ගන්නවා. තවත් එක රෙප් එකක්වත් ගහගන්න බැරි තත්ත්වයට, ඒ කියන්නේ මසල් ෆේලියර් එකට ඔයා ළං වෙනකොට, අර ටයිප් වන් තන්තු වලට තවත් බර දරාගන්න බැරි වෙනවා. අන්න ඒ වෙලාවට ශරීරය විසින් ස්වයංක්‍රීයව අර විශාල ටයිප් ටූ තන්තු ක්‍රියාත්මක කරනවා ඒ බර උස්සන්න.
මෙන්න මේ ටයිප් ටූ තන්තු ක්‍රියාත්මක වුණාම තමයි ඒවා උත්තේජනය වෙලා, ඊට පස්සේ අපි කන ප්‍රෝටීන් වලින් ඒක රිකවරි වෙලා, මසල් එක කලින්ට වඩා ලොකුවට හැදෙන්නේ.
දැන් ඔයා හිතලා බලන්න, ඔයා අර සුපර් ස්ලෝ ක්‍රමයට බර අඩු කරලා ගොඩක් වෙලා හෙමින් හෙමින් ව්‍යායාම කරනකොට මොකද වෙන්නේ කියලා. එතැනදී වෙන්නේ ඔයාගේ මසල් එකට තෙහෙට්ටුවක් දැනෙන එක විතරයි. ඒ කියන්නේ ඇඟට පණ නැති වෙනවා, හුස්ම ගන්න අමාරු වෙනවා, දහඩිය දානවා, මසල් එක පිච්චෙනවා වගේ දැනෙනවා. හැබැයි අර මම කලින් කිව්ව ටයිප් ටූ තන්තු අවදි කරන්න අවශ්‍ය කරන යාන්ත්‍රික ආතතිය එතන නැහැ. ඒ නිසා ඔයා කොච්චර මහන්සි වුණත්, පැය ගාණක් හෙමින් බර ඉස්සුවත්, ඔයා බලාපොරොත්තු වෙන මසල් වර්ධනය එතන සිද්ධ වෙන්නේ නැහැ.
මේ පර්යේෂණ වලදී අර සුපර් ස්ලෝ ක්‍රමය අසාර්ථකයි කියලා තහවුරු කරන්න තවත් එක පරීක්ෂණයක් කරලා තියෙනවා. ඒකට පාවිච්චි කරලා තියෙන්නේ යන්ත්‍රයක් මගින් වේගය පාලනය කරන විශේෂ ක්‍රමයක්. මේ යන්ත්‍රයේ තියෙන විශේෂත්වය තමයි, ඔයා කොච්චර හයියෙන් බරක් තල්ලු කරන්න හැදුවත්, මේ යන්ත්‍රය ඒක යන්න දෙන්නේ නියමිත, ස්ථාවර වේගයකට විතරයි.
මේක හරියට ට්‍රෙඩ්මිල් එකක දුවනවා වගේ වැඩක්. ට්‍රෙඩ්මිල් එකේ වේගය පැයට කිලෝමීටර් පහළොවකට දාලා තියෙනවා නම්, ඔයා කොච්චර මහන්සි වුණත් ඔයාට ඊට වඩා වේගයෙන් දුවන්න බැහැනේ. අන්න ඒ වගේ අර යන්ත්‍රයෙන් කෘත්‍රිමව වේගය පාලනය කරනවා.
මේ පරීක්ෂණයේදී පෙනිලා තියෙනවා, අපි සාමාන්‍ය ඩම්බෙල් හෝ බාබෙල් පාවිච්චි කරලා කරන ව්‍යායාම වලදී මේ වගේ කෘත්‍රිමව වේගය පාලනය කරන්න ගියාම ඒකෙන් අපිට ලැබෙන ප්‍රතිඵලය ගොඩක් දුරට අඩු වෙනවා කියලා. මොකද නිදහස් බරක් එක්ක අපි ව්‍යායාම කරනකොට අපේ ශරීරයේ ස්වාභාවික ජෛව යාන්ත්‍රණයට ඉඩ දෙන්න ඕනේ.
හරි, දැන් අපි විද්‍යාත්මක පැත්ත ගොඩක් කතා කළා. දැන් ප්‍රශ්නය තමයි එහෙනම් ට්‍රේනර් චේ, අපි ජිම් එකට ගියාම කොහොමද මේක ප්‍රායෝගිකව කරන්නේ? කියන එක. මම ඒකට පැහැදිලි විසඳුමක් දෙන්නම්. ඔයා මේ පියවර හතර අනුගමනය කරන්න.
පළවෙනි කරුණ: ස්වාභාවික පාලනය. බර උස්සන වේගය ගැන ඔළුව අවුල් කරගන්න එපා. තත්පර ගණන් කර කර ව්‍යායාම කරන්න යන්නත් එපා. ඔයාට පාලනය කරගන්න පුළුවන්, ඔයාට පහසු ස්වාභාවික වේගයකින් බර එසවීම සහ පහත් කිරීම කරන්න.
දෙවැනි කරුණ: පහත් කරන විට ප්‍රවේසම් වන්න. කොන්සෙන්ට්‍රික් අවස්ථාවේදී, ඒ කියන්නේ බර ඉහළට තල්ලු කරනකොට ඔයාට පුළුවන් තරම් වේගයෙන්, හැබැයි ආරක්ෂාකාරීව සහ නිවැරදි ඉරියව්වෙන් ඒක කරන්න. හැබැයි, බර පහත් කරනකොට ගුරුත්වාකර්ෂණයට ඉඩ දීලා නිකන්ම බර අතහරින්න එපා. තත්පර එකක් හෝ තුනක් අරගෙන පාලනයකින් යුතුව බර පහත් කරන්න. එතකොට අර යාන්ත්‍රික ආතතිය නියමෙටම මසල් එකට දැනෙනවා.
තුන්වෙනි කරුණ: ෆේලියර් එකට ළං වෙන්න. මේක තමයි වැදගත්ම දේ. ඔයා කරන හැම සෙට් එකක්ම, ඔයාට තවත් එක වාරයක්වත් බර උස්සගන්න බැරි මට්ටමට හෝ ඊට ඉතාම ආසන්න මට්ටමකට එනකම් කරන්න ඕනේ. අර මම කලින් කිව්ව ටයිප් ටූ තන්තු වැඩ කරවන්න නම් මේක අනිවාර්යයි. සෙට් එකක් ඉවර වෙද්දී ඔයාට තවත් රෙප්ස් පහක් හයක් ගහන්න පුළුවන් කමක් ඇඟේ ඉතුරු වෙලා තියෙනවා නම්, ඔයා තාම හරියට ව්‍යායාම කරලා නැහැ.
හතරවෙනි කරුණ: ක්‍රමානුකූලව බර වැඩි කිරීම. බර උස්සන වේගය වෙනස් කරලා මසල් වර්ධනය කරන්න හදනවා වෙනුවට, සතිපතා හෝ මාසිකව ඔයා උස්සන බර ප්‍රමාණය ක්‍රමානුකූලව වැඩි කරන්න. එහෙම නැත්නම් ඔයා කරන වාර ගණන වැඩි කරන්න. මේකට තමයි ප්‍රොග්‍රෙසිව් ඕවර්ලෝඩ් කියන්නේ. මසල් එකක් අඛණ්ඩව වර්ධනය වෙන්න නම් මේ දේ අනිවාර්යයෙන්ම සිද්ධ වෙන්න ඕනේ.
අවසාන වශයෙන් සාරාංශයක් විදිහට කිව්වොත් යාලුවනේ, අතිශය මන්දගාමී රිද්මයන් මගින් ඔයාට ඇඟට ලොකු වෙහෙසක්, රස්නයක් දැනෙන්න පුළුවන්. අර මසල් එක පිච්චෙනවා වගේ දැනෙන එක ඇත්ත. හැබැයි ඉන් අදහස් වෙන්නේ ඔයාගේ මසල් එක උපරිමයෙන් වර්ධනය වෙනවා කියන එක නෙවෙයි. විද්‍යාත්මකව ඔප්පු වෙලා තියෙන විදිහට, මසල් වර්ධනයට අවශ්‍ය ප්‍රමාණවත් යාන්ත්‍රික ආතතියක් ලබා දෙන්න නම්, ඔයා සාමාන්‍ය පාලනය කළ හැකි වේගයකින්, නිවැරදි බරක් භාවිතා කරමින්, මසල් ෆේලියර් එකට ආසන්න වන තුරු ව්‍යායාම කළ යුතුමයි.
ඉතින් මම හිතනවා ජිම් එකේදී බර උස්සන වේගය ගැන ඔයාට තිබුණු ලොකුම ප්‍රශ්නයකට අද මේ වීඩියෝ එකෙන් පැහැදිලි, විද්‍යාත්මකව තහවුරු කරපු පිළිතුරක් ලැබෙන්න ඇති කියලා.
ඔයා ජිම් එකේදී බර උස්සන්නේ කොහොමද? වේගයෙන්ද නැත්නම් හෙමින්ද? මේ වීඩියෝ එක බැලුවට පස්සේ ඔයාගේ ව්‍යායාම රටාව වෙනස් කරගන්නවද?
References
# # References
1. Enes A, Piñero A, Hermann T, Zamanzadeh A, Hennessy T, Montenegro D, Parnell C, Jia A, Weitzman T, Wolf M, Korakakis PA, Swinton PA, Schoenfeld BJ. *How Slow Should You Go? A Systematic Review With Meta-Analysis of the Effect of Resistance Training Repetition Tempo on Muscle Hypertrophy.* Journal of Strength and Conditioning Research. 2025;39(12):1331–1339. doi:10.1519/JSC.0000000000005302.
2. Schoenfeld BJ, Ogborn D, Krieger JW. *Effect of Repetition Duration During Resistance Training on Muscle Hypertrophy: A Systematic Review and Meta-Analysis.* Sports Medicine. 2015;45(4):577–585. doi:10.1007/s40279-015-0304-0.
3. Refalo MC, Helms ER, Trexler ET, Fyfe JJ, Hamilton DL. *Influence of Resistance Training Proximity-to-Failure on Skeletal Muscle Hypertrophy: A Systematic Review With Meta-Analysis.* Sports Medicine. 2023. doi:10.1007/s40279-023-01884-1.
4. Tanimoto M, Ishii N. *Effects of Low-Intensity Resistance Exercise With Slow Movement and Tonic Force Generation on Muscular Function in Young Men.* Journal of Applied Physiology. 2006;100(4):1150–1157. doi:10.1152/japplphysiol.00741.2005.
5. Tanimoto M, Sanada K, Yamamoto K, Kawano H, Gando Y, Tabata I, Miyachi M, Ishii N. *Effects of Whole-Body Low-Intensity Resistance Training With Slow Movement and Tonic Force Generation on Muscular Size and Strength in Young Men.* Journal of Strength and Conditioning Research. 2008;22(6):1926–1938. doi:10.1519/JSC.0b013e318185f2b0.
6. Schuenke MD, Herman JR, Gliders RM, Hagerman FC, Hikida RS, Rana SR, Ragg KE, Staron RS. *Early-Phase Muscular Adaptations in Response to Slow-Speed Versus Traditional Resistance-Training Regimens.* European Journal of Applied Physiology. 2012;112(10):3585–3595. doi:10.1007/s00421-012-2339-3.
7. Farthing JP, Chilibeck PD. *The Effects of Eccentric and Concentric Training at Different Velocities on Muscle Hypertrophy.* European Journal of Applied Physiology. 2003;89(6):578–586. doi:10.1007/s00421-003-0842-2.
8. Wilk M, Zajac A, Tufano JJ. *The Influence of Movement Tempo During Resistance Training on Muscular Strength and Hypertrophy Responses: A Review.* Sports Medicine. 2021;51(8):1629–1650. doi:10.1007/s40279-021-01465-2.
9. Chaves TS, Biazon TMPC, dos Santos LME, Libardi CA. *Effects of Resistance Training With Controlled Versus Self-Selected Repetition Duration on Muscle Mass and Strength in Untrained Men.* PeerJ. 2020;8:e8697. doi:10.7717/peerj.8697.
10. Lacerda LT, Marra-Lopes RO, Lanza MB, et al. *Resistance Training With Different Repetition Duration to Failure: Effect on Hypertrophy, Strength and Muscle Activation.* PeerJ. 2021;9:e10909. doi:10.7717/peerj.10909.
11. Martins-Costa HC, Lacerda LT, Diniz RCR, et al. *Equalization of Training Protocols by Time Under Tension Determines the Magnitude of Changes in Strength and Muscular Hypertrophy.* Journal of Strength and Conditioning Research. 2022;36(7):1770–1780. doi:10.1519/JSC.0000000000004004.
12. Schoenfeld BJ. *The Mechanisms of Muscle Hypertrophy and Their Application to Resistance Training.* Journal of Strength and Conditioning Research. 2010;24(10):2857–2872. doi:10.1519/JSC.0b013e3181e840f3.
13. Morton RW, Sonne MW, Farias Zuniga A, et al. *Muscle Fibre Activation Is Unaffected by Load and Repetition Duration When Resistance Exercise Is Performed to Task Failure.* Journal of Physiology. 2019;597(17):4601–4613. doi:10.1113/JP278056.