30/07/2026
1983 වසරේ ශ්‍රී ලංකා ඉතිහාසයේ එක්තරා අවාසනාවන්ත සමයක තවත් දිනයකි.
මෙදින, දෙමටගොඩ හරහා ලාන්සර් මෝටර් රථයක් ධාවනය වෙමින් තිබුණි.
මෙම රථයේ ගමනාන්තය වූයේ කටුනායක පිහිටි බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළයි. මේ රථයේ රියදුරා ඇතුළුව තවත් තිදෙනෙකු ගමන් කළහ.
ජාතිවාදයේ ගිණිදැල් අතරින් ප්‍රවේසමෙන් ධාවනය වූ මෙම මෝටර් රථයේ සිටියේ පර්සි අබේසේකර නම් ලොව පුරා ක්‍රිකට්ලෝලීන් හඳුනන ක්‍රිකට්ලෝලීයා ය.
ඔහුට අනෙක් පසින් අසුන් ගෙන සිටියේ ලොව එතෙක් මෙතෙක් ලොව බිහි වූ සුපිරිතම තුන් ඉරියව් ක්‍රීඩකයෙකු ලෙස ගැනෙන ශ්‍රීමත් ගාෆිල්ඩ් සෝබර්ස් ය.
ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරුවෙකු ලෙස මෙරටට පැමිණි සෝබර්ස්ව නිරුපද්‍රිතව මෙරටින් පිටත් කිරීමේ වගකීම එදා පර්සි අබේසේකරයන්ගේ කර මත වැටී තිබුණි.
එසමයේ ජාතිවාදයේ රුදුරු සෙවණැලි බැලූ බැලූ හැම දෙසින්ම පෙනේ. පාරවල් දිගේ අහස උසට නැගුණ ටයර් සෑයවල්ය. සෝබර්ස්, පර්සි ගමන් කළේ එලෙස තම ජාතියෙන් එපිට එක ලේ බිඳුවකට කිසිඳු සමාවක් නොලැබෙන මාවතක් ඔස්සේය.
හරියටම දැන් දෙමටගොඩ පාලම තිබෙන ස්ථානයේ දී සෝබර්ස්ලා ගමන් කළ මෝටර් රථය නැවැත්වීමට රථය ධාවනය කළ මුස්ලිම් ජාතික රියදුරාට සිදු විය. ඒ පාර හරහා වැටී තිබූ අඩක් දැවෙමින් තිබූ මෝටර් රථ කිහිපයක් නිසා ය. ඒ මොහොතේ මහමඟ නැවතුණ මෝටර් රථය කිට්ටුවට ජාතිවාදී කලබලකරුවෝ කෙමෙන් කෙමෙන් ළං වෙමින් සිටිහ.
ටයර් පිළිස්සෙන ගඳත්, ඉන් නැගෙන දාහයත්, මරණ බයත් මෝටර් රථයේ සිටින්නන්ට දැනේ. දැන් නොයෙක් ඇඳුමින් සැරසුණ ජ කාරයෝ තිහක්, හතළිහක් සෝබර්ස්ලා ගමන් කළ රථය වටලා ගෙනය.
"උඹේ නම මොකක්ද?"
ඒ ජාතිආල කාරයෙක් රියදුරාගෙන් විමසුවේය. මුස්ලිම් ජාතික රියැදුරා වෙව්ලමින් තම නම කිව්වේය. ඊළඟට ඔවුන්ගේ උකුසු ඇස් යොමු වුණේ රියදුරු අසුනට යාබදව සිටි ඇන්ටන් ගුණවර්ධන වෙතය. ඔහු ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් සෝබර්ස් ගුවන් තොටට ඇරලීමට ආ පුද්ගලයා ය.
"එතකොට උඹේ නම? "
කලබලකරුවෙක් ගුණවර්ධන දෙසට හැරුණේය. අවාසනාවකට ඔහුට උපතින්ම ආ ගොතයක් තිබේ.
“ගු...ගු...ගු......ගුණවර්ධන” කියා නම කියා නිම කරන්නට ඔහුට හැකි වුනේ නැත. 'මෙන්න සිංහල බැරි එකෙක්" ජාතිවාදියෙක් ගුණවර්ධන කුදලා ගත්තේය.
මෙන්න තව එකෙක්. පසුපස අසුනේ කෙළවරේ සිටි සෝබර්ස්ව කලබලකරුවන් දුටුවේ ඒ අවස්ථාවේ දී ය.
පර්සිට අනුව දැන් එනපොට හොඳ නැත. නිමේශයකින් තීරණයක් ගැනීමට සිදු වී ඇත. නැතහොත් සෝබර්ස් නම් ඒ ලෝක පූජිත ක්‍රීඩකයා දෙමටගොඩ පාරේ ටයර් සෑයක දැවී අළු වී යනු ඇත.
තවත් මොහොතක් නොසිතා පර්සි මෝටර් රථයෙන් බිමට පැන්නේය.
"තමුසෙලාට පිස්සු ද? මගේ නම පර්සි. මේ ඉන්නේ සික්සර් ගහල රෙකෝර්ඩ් තියපු සෝබර්ස් මහත්තයා. අනිත් මහත්තයගේ නම ගුණවර්ධන. ඒ මහත්තයාට පොඩි ගොතයක් තියනවා. බොරු නම් අපේ හැඳුනුම්පත් බලනවා." පර්සි පළාතම දෙදරන්නට කෑගැසුවේය.
" කවුද ඩෝ පර්සි, කවුද ඩෝ සෝබර්ස්?"
ජාතිවාදිහූ ගොදුරට පනින්නට මාන බැලූහ.
ජාතිවාදී කලබලකාරුවන් අතර ක්‍රිකට්ලෝලීන් කිහිප දෙනෙක් ද සිටියේ පර්සිගේ සහ සෝබර්ස්ගේ වාසනාවට ය.
"අඩෝ සිරාවටම මේ අපේ පර්සියනේ"විප්ලවවාදීන් අතරින් හඬක් ඇසේ.
"ඇයි පර්සි, මේ දෙමළුන්ව අරන් යන්නේ?" ඒ තවත් ජාති ආලය ඉහවහා ගිය එකෙකි.
"මම සැරයක් කිව්ව මෙතැන ඇති දෙමළෙක් නෑ. මේ ඉන්නේ සර් ගැරී සෝර්බර්ස් අර හයේ ඒවා ගහලා ලෝක වාර්තා තියපු පොර" දැන් නම් පර්සිට නහුතෙට තදවෙලා ය.
අවසානයේ, දැවී පිච්චී ගිය ජාතිවාදයේ නෂ්ටාවශේෂ අතරින් ජාතිආලකයින්ගේ තල්ලුවකින්ම පර්සිලා ගමන් ගත් රථය ඉදිරියට ඇදුණි. ඉදිරියට ඇදෙන මෝටර් රථයේ සිටින සෝබර්ස්ට නම් හොඳටම මල පැනලා ය.
"දෙමළෙක් වුනත් පර්සි එක්ක ඉන්නවා නම් ඌ හොඳ එකෙක් වෙන්න ඕන බං" කලබලකාරයෙක් රථය පිටත් වෙද්දී තවකෙකුට කියනවා පර්සි අසාගෙනය.
"මම මේ රටේ ජනාධිපති වුනොත් මුන් ඔක්කොම මරල දානවා" ගුවන්තොටට ළඟා වෙද්දී සෝබර්ස් මුමුණයි.
මොන මැරිල්ලක් ද සෝර්බස්ගේ සියොළඟ දහඩියෙන් තෙත් වී කේශාන්තයේ සිට පාදන්තය තෙක් නැහැවී ගොසිනි. ඒ මදිවට දියෙන් ගොඩ දැමු මාළුවෙකු සේ වෙව්ලයි.
ජාත්‍යන්තරයේ බොහෝ දෙනා ශ්‍රී ලංකාවට ටෙස්ට් වරම් ලැබීම වපරැසින් දකිද්දී සෝබර්ස් සෑමවිටම සිට ගත්තේ අපේ පැත්තේය. මෙරට අංකුර ක්‍රීඩකයින්ගේ හැකියාව ගැන ඔහු කතා කළේ මහත් උද්දාමයෙනි.
ගාෆිල්ඩ් සෝබර්ස් නම් සුපිරිතම ක්‍රීඩකයා එදා ශ්‍රී ලංකාවෙන් පිටව ගියේ මාරයාගෙන් නූලෙන් ගැලවී ගනිමිනි.
එදා පර්සි අබේසේකර, සෝබර්ස් හා නොවන්නට සමහර විට ශ්‍රීමත් ගාෆිල්ඩ් සෝබර්ස් නම් අසහාය ක්‍රීඩකයාට නවතින්නට වන්නේ දෙමටගොඩ සහ පෑලියගොඩ අතර දැවෙමින් තිබූ ටයර් සෑයක් මතය.
වර්නන් ගුණසේකරයන් ක්‍රීඩා පුවත්පතට ලියූ 'පර්සි පුරාණය' ඇසුරු කරගෙන ලියන ලද්දකි.
Percy Abeysekera would have been celebrating his 90th birthday today.
Happy birthday Uncle Percy, wherever you are. The colour, energy, and passion you brought to Sri Lankan cricket will never be forgotten.