30/08/2026
📢 නිල නිවේදනයයි
ගාලු දිස්ත්‍රික්ක චෙස් තරගාවලිය 2026
හිතවත් ගාලු දිස්ත්‍රික්කයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්, දෙමාපියන්, පුහුණුකරුවන් වෙතයි,
2026 ගාලු දිස්ත්‍රික්ක චෙස් තරගාවලියට අදාළව වැදගත් යාවත්කාලීන කිරීමක් ගාලු දිස්ත්‍රික්ක චෙස් සංගමය විසින් මෙලෙස දැනුම් දීමට කැමැත්තෙමු.
තරගාවලි සංවිධායක කමිටුවේ පාලනයෙන් බැහැර වූ තත්ත්වයන් හේතුවෙන් මෙවර ශූරතාවලියේ පළමු අදියර වන කලාපීය තරඟාවලි කල් දැමීමට සිදු වූ අතර, එම ගැටලු නිරාකරණය කරමින් නැවත තරඟාවලිය ආරම්භ කිරීමට අවශ්‍ය පසුබිම සකස් කිරීමට අපි අඛණ්ඩව කටයුතු කළෙමු.
මෙම කාලසීමාව තුළ, සමස්ත ගාලු දිස්ත්‍රික්ක චෙස් ප්‍රජාවගේ යහපතට ප්‍රමුඛතාවය දෙමින්, රාජ්‍ය නිලධාරීන් සහ අනෙකුත් පාර්ශවකරුවන් සමඟ වැදගත් සාකච්ඡා කිහිපයක් පවත්වන ලදී.
එම අවස්ථාවේවී ගැටලු නිරාකරණය කර ගැනීමේ උත්සාහයට පෙරට පැමිණ සහයෝගය දැක්වූ සැමට අපගේ ගෞරවනීය ස්තූතිය හිමිවේ. විශේෂයෙන්ම, දකුණු පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සුසිරිපාල මානවඩු මහතා ඇතුළු ආණ්ඩුකාර කාර්යාලයටත්, ලංකා චෙස් සුරැකීමේ සහ සංවර්ධනය කිරීමේ සංගමයටත්, දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ටත්, දෙමාපියන්ට සහ මෙම ක්‍රියාවලියට සහය දුන් අනෙකුත් සියලුම පාර්ශවකරුවන්ටත් අපගේ කෘතඥතාව පළ කරමු.
♟️ තවත් වැදගත් ඉදිරි පියවරක් – දෙවන සහ අවසන් අදියර සඳහා FIDE ශ්‍රේණිගත කිරීම් (FIDE Rated)
ඒ වගේම 2026 ගාලු දිස්ත්‍රික්ක චෙස් තරගාවලියට අදාළ තවත් සුවිශේෂී ප්‍රගතියක් පිළිබඳව දැනුම් දීමට ලැබීම සතුටකි.
අපගේ ඉල්ලීම පිළිගනිමින්, මෙවර ශූරතාවලියේ දෙවන සහ අවසන් අදියරයන් FIDE ශ්‍රේණිගත කිරීම් යටතේ (FIDE rated) පැවැත්වීමට ශ්‍රී ලංකා චෙස් සම්මේලනය අපහට අනුමැතිය ලබා දී ඇත.
ඒ අනුව, 2026 ගාල්ල දිස්ත්‍රික් චෙස් ශූරතාවලියේ දෙවන සහ අවසන් අදියරයන් FIDE Rated තරඟාවලි ලෙස පැවැත්වෙන අතර, එය අපගේ දිස්ත්‍රික්ක ශූරතාවලියේ ගුණාත්මකභාවය, පිළිගැනීම සහ තරඟකාරීත්වය තවදුරටත් ඉහළ නංවනු ඇත.
මෙය, ගාලු දිස්ත්‍රික්කයේ සියලුම චෙස් ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් වඩාත් ගුණාත්මක තරඟාවලි සහ ඉහළ තරඟකාරී අවස්ථාවන් ලබා දීම සඳහා අප ගන්නා අඛණ්ඩ උත්සාහයේම ප්‍රතිඵලයකි.
🏆 තරගාවලිය නැවත පැවැත් වීමට කටයුතු සුදානම් කර ඇත – කලාපීය තරඟාවලි සැප්තැම්බර් 19 සහ 20 දිනවලදී
ඒ අනුව, 2026 ගාලු දිස්ත්‍රික්ක චෙස් ශූරතාවලිය නැවත ආරම්භ කිරීමට හැකි පසුබිම දැන් සකස් වී ඇති බව ගාලු චෙස් ප්‍රජාවට ඉතා සතුටින් නිල වශයෙන් දැනුම් දෙන්නෙමු.
ශූරතාවලියේ පළමු අදියර යටතේ පහත කලාපීය තරඟාවලි හතර පැවැත්වේ:
♟️ ගාල්ල කලාපය
♟️ අම්බලන්ගොඩ කලාපය
♟️ ඇල්පිටිය කලාපය
♟️ උඩුගම කලාපය
2026 සැප්තැම්බර් 19 සහ 20 යන දිනවලදී පැවැත්වීමට නියමිත කලාප තරගාවලියේ තරඟ ස්ථාන, ලියාපදිංචි වීම්, කාලසටහන සහ අනෙකුත් සංවිධානාත්මක තොරතුරු ඉදිරියේදී නිකුත් කිරීමට පියවර ගැනේ.
මෙම කාලසීමාව තුළ අපගේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්, දෙමාපියන්, පුහුණුකරුවන්, නිලධාරීන් සහ සමස්ත චෙස් ප්‍රජාව දැක්වූ ඉවසීම, වටහා ගැනීම සහ අඛණ්ඩ සහයෝගය වෙනුවෙන් අපගේ හෘදයාංගම ස්තූතිය පිරිනමන්නෙමු.
මෙම සමස්ත ක්‍රියාවලිය පුරාවටම අපගේ එකම අරමුණ වූයේ ගාලු දිස්ත්‍රික්කයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට හැකි උපරිම ගුණාත්මකභාවයෙන් යුතු චෙස් තරඟාවලි සහ අවස්ථාවන් උදාකර දීමයි.
ගාලු දිස්ත්‍රික්ක චෙස් සංගමය
Southern Province Governor's Secretariat