13/08/2026
කුසට දරුවෙක් දීලා මාරු වුන ක්‍රිකට් තරුව ගැන ගුවන් නියමු වරියගේ පැත්තෙන් කියන කතාව
මේ කතාවේ ප්‍රධාන චරිතය වන ඇය ඉතාමත් අහිංසක කාන්තාවක්. ඇය ඉතා මහන්සියෙන්, කැපවීමෙන් සහ දක්ෂතාවයෙන් ඉහළටම ආපු ගුවන් නියමුවරියක්.
ලංකාවේ සාමාන්‍ය පවුලක කෙනෙකුට ගුවන් නියමුවරියක් වෙනවා කියන්නේ ලේසි පහසු කටයුත්තක් නෙවෙයි. ඒ සඳහා භාෂාවන් පිළිබඳ ප්‍රවීණතාවයක්, හොඳ අධ්‍යාපනයක් සහ සුවිශේෂී හැකියාවන් රාශියක් අවශ්‍ය වෙනවා. ඇය තමන්ගේ ජීවිතයේ සියලුම කැපකිරීම් කරලා තමයි මේ තැනට ඇවිල්ලා තියෙන්නේ. මේ කාන්තාව මට මුලින්ම මුණගැහෙන්නේ මගේ හිතවතෙක් මාර්ගයෙන්. ඇය තමන්ගේ වෘත්තීය ගරුත්වයත් එක්ක ඉතාමත් ශක්තිමත්ව හිටපු කෙනෙක්.
ඇයට මුදල් තිබුණා වගේම සමාජයේ පිළිගත් තනතුරක් තිබුණා. ඒ නිසා ඇයට කිසිම විටෙක කීර්ති නාමයක් තියෙන පුද්ගලයෙක් සමඟ විවාහ වෙලා ඔහුගේ නමින් බැබළෙන්න අවශ්‍යතාවයක් තිබුණේ නැහැ .
ඇය මීට පෙර විවාහයක් වෙලා හිටපු කෙනෙක්. ඒක ඇය කිසිම තැනක හැංගුව කරුණක් නෙවෙයි. කාන්තාවක් විදිහට ඇය ඉතාමත් ශක්තිමත් තැනැත්තියක්. ඇයටත් සාමාන්‍ය මනුෂ්‍යයෙක් විදිහට ආදරය, සෙනෙහස අවශ්‍ය වෙනවා. මේ නඩුකරයේ විත්තිකරු ඇයට බොහෝම බලවත් ලෙස ආදරය පෙන්නපු කෙනෙක්. ඔහු ඇයට බොහෝම ආදරයෙන් සලකලා තියෙනවා, ඇයව තමන්ගේ ජීවිතයේ බොහෝ දේවල් වලට එකතු කරගෙන තියෙනවා.
මේ දරුවා හදන්න ඇය තීරණය කරන්නේ අන්න ඒ කියන ගැඹුරු ආදරය සහ විශ්වාසය මතයි. මේක කිසිසේත්ම ඇය හිතාමතා ඔහුගෙන් දරුවෙක් ලබාගැනීමේ අරමුණින් කරපු දෙයක් නෙවෙයි. දෙදෙනාගේම එකඟතාවය සහ දැඩි සෙනෙහස මත තමයි මේ සම්බන්ධතාවය ගොඩනැගුණේ. ඇය ඒ විශ්වාසය මත තමයි තමන්ගේ ජීවිතයේ මේ තරම් දුරක් ඔහුත් එක්ක ගමන් කළේ .
ඕනෑම සම්බන්ධතාවයක් ගොඩනැගෙන්නේ එකිනෙකා අතර සිදුවන හමුවීම් සහ කතාබහ කිරීම් එක්කයි. මේ සියලුම හමුවීම් මුලදී සැබෑ ලෙසම ඉතාමත් ලස්සනයි. නමුත් ඒවායේ අවසානයන් සමහර විට ජීවිතයට ඉතාමත් අහිතකර විදිහට බලපාන්න පුළුවන්. සමහර අයගේ හමුවීම් නිසා අනිත් අයගේ ජීවිත ඉතාමත් සාර්ථක ලෙස ගොඩනැගෙනවා.
නමුත් තවත් සමහර අයගේ හමුවීම් නිසා බොහෝ කාන්තාවන්ට තමන්ගේ මුළු ජීවිතයම පවා අහිමි කරගන්න සිද්ධ වෙනවා. මේක නීතියේ හෝ සමාජයේ වැරැද්දක් නෙවෙයි, මිනිස්සුන්ගේ හැසිරීම් රටාවන් වල වැරැද්දක්. කාන්තාවක් කියන චරිතයේ ඉඳලා බැලුවොත්, ඇයට දරුවන් බිහි කිරීම, දරුවන් හැදීම, සම්බන්ධතා පැවැත්වීම සහ තමන්ගේ රැකියාව ආරක්ෂා කරගැනීම කියන මේ සියල්ලම එකවර සමතුලිත කරගෙන යන්න සිද්ධ වෙලා තියෙනවා .
ලංකාවේ ජනගහනයෙන් බහුතරයක් ඉන්නේ කාන්තාවන්. නමුත් ඒ කාන්තාවන්ට තමන්ගේ ජීවිතය ආරක්ෂිතව ඉදිරියට ගෙන යන්න අවශ්‍ය නීති නිසි පරිදි සම්පාදනය වෙලා තියෙනවද කියන එක ලොකු ප්‍රශ්නයක්. මේක හුදෙක් ඩීඑන්ඒ පරීක්ෂණයක් පස්සේ යෑමක් හෝ දරුවන් හදාගැනීම පිළිබඳ ප්‍රශ්නයක් විතරක්ම නෙවෙයි.
සැබෑ ලෙසම ලංකාවේ නීතිය තුළ කාන්තාවකට විවෘතව සම්බන්ධතාවයක් ගොඩනගාගන්න පුළුවන්ද? ඒ සම්බන්ධතාවය තුළ ඇයට දරුවෙක් බිහි කරන්න නිදහසක් තියෙනවද? අපේ රටේ නීතියට අනුව ගබ්සාවක් කිරීම සම්පූර්ණයෙන්ම නීති විරෝධී ක්‍රියාවක්. එහෙමනම් එවැනි අවස්ථාවකදී සම්බන්ධතාවයක් පවත්වන කෙනෙකුට ලැබෙන දරුවෙක් සමාජයට යහපත් ලෙස ගේන්නේ කොහොමද කියන එකට අපේ නීති ක්‍රමය නිසි පිළිතුරක් දීලා නැහැ .
මේ ප්‍රශ්නය ඇත්තටම කාන්තාවකට වඩා අදාළ වෙන්නේ ඒ අහිංසක දරුවාටයි. මේ ලෝකෙට බිහිවෙන ළමයෙකුට තමන්ගේ ජීවිතය සාමාන්‍ය විදිහට පටන් ගන්න අපි නිසි තැනක් දීලා තියෙනවද කියන එකයි අපි බලන්න ඕනේ. මේ නඩුකරයේ විත්තිකරු ලෝක පූජිත පුද්ගලයෙක් වෙන්න පුළුවන්. ක්‍රීඩා පිටිය තුළ ඔහු ලංකාවට ලොකු අභිමානයක් ගෙනාපු කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් ඒකෙන් වැඩක් නැහැ තමන්ගේ දරුවා වෙනුවෙන් යුතුකම් ඉටු කරන්නේ නැත්නම්.
කාන්තාවක් එක්ක සම්බන්ධතාවයක් නොපවත්වා කිසිම විටෙක ගැබ් ගැනීමක් සිද්ධ වෙන්නේ නැහැ. මේක කිසිසේත්ම බලහත්කාරයෙන් කරපු දෙයක් නෙවෙයි. දෙදෙනාගේම පූර්ණ එකඟතාවය මත තමයි මේ දරුවා නිර්මාණය වුණේ. ඒ නිසා මේ ලෝක පූජිත පුද්ගලයා වුණත් තමන්ගේ වගකීම භාරගන්න ලෑස්ති වෙන්න ඕනේ.
මේ ප්‍රශ්නය ඩීඑන්ඒ පරීක්ෂණය කියන තැනින් හිර වෙන්න ප්‍රධානම හේතුව තමයි ලංකා නීතියේ තියෙන දුර්වලතාවය. ලංකා නීතියට අනුව පාර්ශවයන් දෙකකින් එක් අයෙක් හෝ ඩීඑන්ඒ පරීක්ෂණය සඳහා රුධිරය ලබාදීම ප්‍රතික්ෂේප කරනවා නම්, එය බලහත්කාරයෙන් ලබාගන්න නීතියෙන් අවසරයක් නැහැ.
කාන්තාවකට තමන් සමඟ යහන්ගත වෙච්ච කෙනාගේ ඩීඑන්ඒ පරීක්ෂා කරන්න කියලා ඉල්ලන්න පුළුවන් වුණත්, අනෙක් පාර්ශවය ඊට අකමැති නම් ඒක එතනින්ම නතර වෙනවා. තමන්ගේ ලේ වෙනත් කෙනෙකුට දෙන්න බැහැ කියලා කවුරුහරි කියනවා නම් නීතියෙන් ඒකට බලපෑම් කරන්න බැහැ. මේක තමයි අද ලංකාවේ කාන්තාවන් මුහුණ දෙන ලොකුම ඛේදවාචකය. මේ නීතිය වහාම වෙනස් වෙන්න ඕනේ.
දරුවෙකුගේ අයිතිවාසිකම් වෙනුවෙන් ඒ නීතිය අනිවාර්යයෙන්ම සම්පාදනය විය යුතුයි.
මේ ගුවන් නියමුවරියට තියෙන ලොකුම සහ එකම ප්‍රශ්නය තමයි තමන්ගේ දරුවාගේ උප්පැන්න සහතිකයේ පියාගේ නම තියෙන තීරුව ‘ඉරක්’ බවට පත්වීම. ළමයින්ගේ උප්පැන්නේ ඉරි කෑල්ලක් තිබූ පමණින් අපේ රටේ සමාජය ඒ දරුවාට සලකන විදිහ ඉතාමත් කෲරයි.
ව්‍යාපාරික කටයුතු වල ඉන්න ඕනෑම කෙනෙක් දන්නවා අඩුම ගානේ බැංකුවකින් ණයක් ඉල්ලන්න ගියත් උප්පැන්න සහතිකයේ පියාගේ නම නැත්නම් ඒකට කිසිම පිළිගැනීමක් ලැබෙන්නේ නැහැ කියලා. හොඳ පාසලකට ළමයෙක් ඇතුළත් කරන්න ගියත්, අනාගතයේදී හොඳ රැකියාවක් ඉල්ලන්න ගියත් මේ ‘ඉර’ කියන එක ඒ දරුවාගේ මුළු අනාගතයම විනාශ කරලා දානවා. ඒ නිසා තමයි 2007 දී නීති කොමිෂන් සභාවට පවා මේ ගැන යෝජනා ගෙනාවේ, නමුත් ඒවා තවමත් නීති බවට පත්වෙලා නැහැ .
අපේ රටේ මිනිස්සුන්ගේ තියෙන්නේ පුදුමාකාර ඊගෝ එකක්. මේක සංස්කෘතිය බහුල රටක් කියලා කිව්වට අපි අවශ්‍ය තැන්වලදී ඒ සංස්කෘතිය පාවිච්චි කරන්නේ නැහැ. මම දන්නවා ලංකාවේ පාතාලයේ හිටපු, ගෝඩ්ෆාදර්ලා කියලා හඳුන්වපු, ඉතාම නරකයි කියලා සමාජය සම්මත කරපු මිනීමරුවන් පවා තමන්ගේ දරුවන්ට තමන්ගේ නම ලබා දීලා තියෙනවා. ඒ අයට අනියම් සම්බන්ධතා ගණනාවක් තිබිලා තියෙනවා, නමුත් ඒ හැම සම්බන්ධතාවයකින්ම ඉපදුණු දරුවන්ට ඔවුන් තමන්ගේ නම ලබා දුන්නා. ඒ දරුවෝ අද සමාජයේ වෛද්‍යවරුන්, ඉංජිනේරුවන් වෙලා ඉන්නවා. ඒ කිසිම පාතාල නායකයෙක් දරුවන්ට නම නොදී පැහැර හැරියේ නැහැ. එහෙමනම් මේ තරම් උගත්, සමාජයේ ඉහළ පිළිගැනීමක් තියෙන පුද්ගලයන්ට ඇයි බැරි තමන්ගේම ලේ වලට තමන්ගේ නම ලබා දෙන්න?
සමාජයේ බොහෝ දෙනෙක් හිතනවා මේ ගුවන් නියමුවරිය මේ සුප්‍රසිද්ධ ක්‍රීඩකයාව අපහසුතාවයට පත් කරන්න, ඔහුගේ කීර්ති නාමයට හානි කරන්න හිතාගෙන ඔහුව බ්ලැක්මේල් කරනවා කියලා. නමුත් ඒක සම්පූර්ණයෙන්ම අසත්‍යයක්. මම දන්නා ආකාරයට ඇය ඔහුගෙන් එකම එක රුපියලක මුදලක්වත් ඉල්ලලා නැහැ. දරුවාගේ නඩත්තුව සඳහා කිසිම නඩත්තු නඩුවක් ගොනු කරලත් නැහැ.
ඇයට තමන්ගේ දරුවා නඩත්තු කරන්න හොඳ හැකියාවක් සහ හොඳ ආදායමක් තියෙනවා. ඇයගේ එකම අපේක්ෂාව සහ බලාපොරොත්තුව තමන්ගේ දරුවාගේ උප්පැන්න සහතිකයේ පියාගේ නම ලියවෙන එක පමණයි. වෙන කිසිම විවාහ ගිවිස ගැනීමක් හෝ දේපළ අයිතියක් ඇය ඉල්ලන්නේ නැහැ. ඇයට අවශ්‍ය තමන්ගේ දරුවාට සමාජයේ නින්දාවකින් තොරව ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් නිර්මාණය කර දීම පමණයි .
ලංකාවේ සාමාන්‍ය විවාහ පනත යටතේ නීත්‍යානුකූලව කරගන්න පුළුවන් එක කසාදයක් විතරයි. නමුත් මට නීතිඥවරියක් විදිහට හමුවෙලා තියෙනවා එකම පුද්ගලයා කසාද හයක් කරපු අවස්ථා පවා. කාන්තාවන්ව රවට්ටලා, විවාහ පොරොන්දු කඩ කරලා, නීති විරෝධීව බහු විවාහයන් කරගන්න මිනිස්සු මේ සමාජයේ ඕනෑ තරම් ඉන්නවා. සමහර අය ඉන්නවා පළමු බිරිඳත්, දෙවෙනි බිරිඳත්, තුන්වෙනි බිරිඳත් යන තුන්දෙනාම එකවර නඩත්තු කරන.
ඒ අයගේ දරුවොත් බලාගන්නවා. නීත්‍යානුකූල බිරිඳට වගේම අනියම් බිරිඳකට වුණත් දරුවෙක් ඉපදුනාම තාත්තා ඒක පිළිගන්නවා නම් උප්පැන්න සහතිකයේ පියාගේ නම ලියන්න කිසිම බාධාවක් නැහැ. ඒ සඳහා කසාද සහතිකයක් අත්‍යාවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් අද බොහෝ පිරිමින් තමන්ගේ ඒ මූලික වගකීම පවා පැහැර හරිමින් ඉන්නවා .
අද අධිකරණයක් තුළ බහුල වශයෙන්ම දකින්න ලැබෙන්නේ නඩත්තු නඩු. ගිවිසුම්ගත වෙලා විවාහ වෙලා මාසයක් දෙකක් යනකොට ආරවුල් ඇතිවෙලා වෙන්වෙනවා. සමහරු ඇමෙරිකාව, එංගලන්තය වගේ රටවලට යනවා, නමුත් තමන්ගේ දරුවා වෙනුවෙන් ගෙවන්න නියම කරන්නේ මාසෙකට රුපියල් පන්දාහක් වගේ සුළු මුදලක්. රුපියල් පන්දාහකින් අද කාලේ දරුවෙකුට කන්න බොන්න දෙන්න, අධ්‍යාපනය ලබාදෙන්න පුළුවන්ද? දෙදෙනා අතර ප්‍රශ්න ඇතිවුණු ගමන් තමන් මෙච්චර කල් හම්බ කරපු සල්ලි දරුවන්ට දෙන එක ප්‍රතික්ෂේප කරනවා.
මෙතනදී දුක් විඳින්නේ ස්වාමිපුරුෂයාවත් බිරිඳවත් නෙවෙයි, අර කිසිම වරදක් නැති අහිංසක දරුවෝ. ලංකාවේ නීතිය තුළ අනිවාර්යයෙන්ම දරුවන්ගේ නඩත්තුව දෙපාර්ශවයෙන්ම සමානව දරාගත යුතුයි කියන නීතිය දැඩිව ක්‍රියාත්මක වෙන්න ඕනේ.
මෙවැනි පවුල් ආරවුල් නිසා දරුවන්ට එල්ලවෙන මානසික පීඩනය කෙතරම්ද කිව්වොත්, මීට අවුරුද්දකට කලින් අම්මයි තාත්තයි රණ්ඩු වුණාට පස්සේ දරුවෝ දෙන්නෙක් උස ගොඩනැගිල්ලකින් පැනලා සියදිවි නසාගත්තා. මම මෑතකදී දැක්කා මොරටුවේ අම්මයි තාත්තයි දෙන්නාම මත්ද්‍රව්‍ය ගන්නවා කියලා ළමයෙක් කෝච්චියට පැනලා මැරුණා. ළමයින්ට දරාගන්න බැරි තරමේ පීඩනයක් අද දෙමාපියන් විසින්ම ලබාදෙමින් ඉන්නවා.
අපි බිහිකරන්න යන්නේ මෙවැනි ඛේදනීය සමාජයක්ද? තමන් ආදරය කරලා හරි නැතුව හරි යහන්ගත වෙච්ච කෙනෙක්ගෙන් හම්බවෙන දරුවෙකුට යුතුකම් ඉටු කරන්න මනුෂ්‍යයෙකුට වගකීමක් නැද්ද? මේ රටේ ඒ පිළිබඳව දැවැන්ත කතිකාවතක් නිර්මාණය විය යුතුමයි. එහෙම නැති වුණොත් තව දශක කිහිපයකින් මේ රටේ ඉතිරි වෙන්නේ මානසික රෝගීන් සහ අනාථයන් පමණයි.
අද සමාජයේ අවුරුදු දාහතරේ පහළොවේ දරුවන් අමානුෂික ලෙස අපයෝජනයට ලක්වෙනවා. පිරිමි ළමයි පවා දූෂණයට ලක්වෙලා මුහුදු වෙරළේ විකිණෙනවා. දකුණේ සහ මීගමුවේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වෙලා ඉන්න ළමයින්ගේ ප්‍රමාණය දැක්කම ඇත්තටම පුදුම හිතෙනවා.
මෙහෙම වෙන්න ප්‍රධානම හේතුව දෙමාපියන් තමන්ගේ යුතුකම් සහ වගකීම් පැහැර හැරීම නිසා දරුවන් ඩිප්‍රෙෂන් තත්ත්වයට පත්වීමයි. ලංකාව වගේ රටක් අද ළමා ලිංගික වෙළඳාම සම්බන්ධයෙන් ජාත්‍යන්තර සඟරා වල පවා සඳහන් වෙන මට්ටමට පිරිහිලා තියෙනවා. වෙන කිසිම රටක මේ තරම් ළමා අපචාර සිදුවෙන්නේ නැහැ. අපි මේවා ගැන විවෘතව කතා කරලා මේ සමාජය වෙනස් කරන්න පියවර ගන්නේ නැත්තේ ඇයි? බදු මුදල් වලින් නිදහස් අධ්‍යාපනය ලබපු අපි අපේ ඊළඟ පරම්පරාව වෙනුවෙන් මීට වඩා දෙයක් කළ යුතුයි.
බොහෝ දෙනෙක් හිතනවා මේ ප්‍රශ්න විසඳන්න නීති රාමුව ඉතාමත් තද විය යුතුයි කියලා. අරාබි රටවල් වල වගේ දැඩි දඬුවම් දිය යුතුයි කියලා සමාජය ඉල්ලනවා. නමුත් මම හිතන්නේ ලංකාවේ නීති රාමුව තද වෙන්න ඕනේ නැහැ, එය වඩාත් ලිහිල් සහ ප්‍රායෝගික වෙන්න ඕනේ. අපේ අධ්‍යාපන ක්‍රමය තුළ සමාජ අධ්‍යයනය කියන විෂය කුඩා කාලයේ ඉඳන්ම ප්‍රායෝගිකව උගන්වන්න ඕනේ. පහේ පන්තියේ ඉඳන් නීතිය පිළිබඳ මූලික දැනුම දරුවන්ට ලබා දෙන්න ඕනේ. සමාජයක හැසිරෙන විදිහ, තමන්ගේ වගකීම් මොනවාද කියන එක පාසල් අධ්‍යාපනය තුළින්ම දරුවන්ට කාවද්දන්න ඕනේ. නීති කඩදාසි වලට විතරක් සීමා නොකර, ඒවා අධ්‍යාපන පද්ධතියට එකතු කරගත්තොත් පමණයි අපිට මේ විනාශ වෙමින් පවතින සමාජය යළි ගොඩනඟන්න පුළුවන් වෙන්නේ.
අවසාන වශයෙන් කියන්න කැමතියි, මේ ගුවන් නියමුවරිය තමන්ගේ දරුවා වෙනුවෙන් ගන්නා මේ නිර්භීත උත්සාහය අපි අනිවාර්යයෙන්ම අගය කළ යුතුයි. සාමාන්‍යයෙන් මෙවැනි දරුවන් බිහිකළාම සමාජයට බයේ දරුවන්ව මහමඟ දාලා යන, ඝාතනය කරන මව්වරුන් ඉන්න රටක, ඇය තමන්ගේ දරුවාව ආදරයෙන් හදා වඩා ගනිමින් ඔහුට නිත්‍යානුකූල අයිතිය ලබාදෙන්න නඩුමඟට ආවා. ඇය සමාජයෙන් එල්ලවෙන සියලුම අපහාස විඳදරාගනිමින් තමන්ගේ දරුවාගේ අනාගතය වෙනුවෙන් පෙනී සිටිනවා.
මේක ඒක අදාළ විත්තිකරු කවුද කියන එක මත පදනම් විය යුතු නැහැ. තමන්ගේ දරුවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් නැගී සිටින ඕනෑම කාන්තාවකට සමාජයක් විදිහට අපි ගරු කරන්න ඕනේ.
ඇගේ මේ සටන හෙට දවසේ මෙවැනි අසාධාරණයන්ට ලක්වන දහස් ගණනක් අහිංසක දරුවන්ගේ අනාගතය වෙනස් කරන හැරවුම් ලක්ෂ්‍යයක් වේවිනඩුකරය වෙනුවෙන් පෙනී සිටින නීතිඥ මේරි ඩික්මන් මහත්මිය මෙම වැඩසටහන හරහා අවධාරණය කරන්නේ, නීතිමය රාමුව තුළ පමණක් නොව, මනුෂ්‍යත්වයේ සහ සාධාරණත්වයේ න් ද මෙම ගැටලුව දෙස බැලිය යුතු බවයි. දරුවෙකුගේ අයිතිවාසිකම් සහ මවකගේ ගෞරවය සුරැකීම වෙනුවෙන් සමාජය මෙන්ම නීතිය ද යුක්තිසහගත ලෙස පෙනී සිටිය යුතු බව මෙයින් තවදුරටත් ඉස්මතු වේ
උපුටා ගැනීමකි