28/05/2017
රට පුරා ආපදා තත්ත්වයක් තිබියදී නියෝජ්‍ය කථානායකගෙන් ලක්ෂ 50 ක පාටියක්..!
මිනිසුන්ට කන්න නෑ, මෙතැන කෑමක් රු.4000 යි: මිනිසුන්ට බොන්න වතුර නෑ, මෙතැන ‘බියර් අන් ලිමිටඩ්‘
(ලංකා ඊ නිව්ස් -2017.මැයි.28, පෙ.ව.7.55) මුළු රට පුරාම ගං වතුර, නාය යෑම්, හේතුවෙන් හදිසි ආපදා තත්ත්වයක් හට ගෙන තිබියදී උත්තරීතර පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක හා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල අද ඉරිදා (28) ක්‍රිකට් ආයතනයේ මහා බාල් නැටුමකට සූදානමින් සිටී
මේ සඳහා රුපියල් ලක්ෂ 50 ක් හෙවත් කෝටි බාගයක් පමණ වැය වෙතැයි අපේක්ෂා කෙරේ. මෙවර තිලංග මෙම ජෝගිය පවත්වන්නේ ක්‍රිකට් ආයතනයේ මහා සභා රැස්වීමටයි. දෙවසරක් සඳහා නිලධාරීන් තේරී පත්ව ඇති නිසා මෙවර මහා සභා රැස්වීමේ දී නිලවරණයක් නොපැවැත්වේ. එහෙත් මෙම රැස්වීම පවත්වන්නේ ක්‍රීඩා පනතට අනුව වාර්ෂික විගණන වාර්තාවක් සහිතව වර්ෂය තුල වූ ගිණුම් සාමාජිකයන් ලවා අනුමත කරවා ගැනීමට ය.
එහෙත් මේ දක්වා විගණකාධිපතිවරයා විසින් මෙම ගිණුම් පිළිබඳව අනුමැතියක් දී නොමැති බව කියැවේ. එසේ තිබියදීත් පසුගිය වසර පුරා අත්තනෝමතික ලෙස කරන ලද, නිසි ටෙන්ඩර් පටිපාටි වලින් බැහැරව සිදුකරන ලද කෝටි ගණන් මුදල් සඳහා ඉදිරිපත් කරනු ලබන වියදම් වාර්තාව දෙස බොහෝ ක්‍රීඩා සමාජ විමසිල්ලෙන් බලා සිටී.
චෙක් එකකට අත්සන් කරන්න තහනම් ෂම්මි භාණ්ඩාගාරික.
බැඩ්මින්ටන්, පාපන්දු, වැනි ක්‍රීඩා සංගම් වලට තග දමන ක්‍රීඩා ඇමැතිවරයා කෝටි ගණනින් මුදල් වියදම් කෙරෙන ක්‍රිකට් ආයතනයේ මෙම අසාමාන්‍ය මූල්‍ය ක්‍රියා පිළිවෙත නොදැක්කා සේ සිටින්නේ තිලංගගේ සුවච කීකරු බලු පැටියෙකු පරිද්දෙනි.
සියළුම ක්‍රීඩා සමාජ සඳහා වාර්ෂික මහා සභා රැස්වීම වෙනුවෙන් යවන ලද ලිපියට පසුගියදා විශේෂ මහා සභා රැස්වීමකදී අනුමත කරවා ගත් ව්‍යවස්ථා සංශෝධනයද අමුණා ඇත. ඒ අනුව භාණ්ඩාගාරික තනතුරේ සිටිය හැක්කේ ඒ සඳහා සුදුසුකම් සපුරා ඇත්තෙකුට පමණි. එහෙත් දැනට එම තනතුරේ සිටින ෂම්මි සිල්වාට ඒ සඳහා කිසිදු සුදුසුකමක් නොමැති අතර මීළඟ වසර සඳහා ද ඔහු යළි එලෙසම කටයුතු කිරීමේ සූදානමින් පසුවේ. මේ සඳහා ෂම්මි සිල්වාට ඇති එකම සුදුසුකම් වන්නේ ක්‍රීඩා ඇමැති දයාසිරි හා තිලංගගේ යහළු මිත්‍ර කමයි. මොවුන් තිදෙනාම සීසීසී ක්‍රීඩා සමාජයේ සාමාජිකයෝ වෙති. සීසීසී ක්‍රීඩා සමාජයේ සභාපති ධූරය ෂම්මි ඉසිලුවද ඔහුට විරුද්ධව මේ වන විට ක්‍රීඩා සමාජයේ හිටපු ලේකම්වරයා විසින් පවරා ඇති නඩුවක් නිසා ඔහුට එහි චෙක්පතකටවත් අත්සන් කිරීමේ බලයක් නැත. අහෝ.., එහෙත් ඔහු ක්‍රිකට් ආයතනයේ භාණ්ඩාගාරිකවරයා ය.
තම ක්‍රීඩා සමාජයේම කාන්තාවක ක්‍රිකට් ආයතනයේ මූල්‍ය අංශයට බඳවා ගත් ෂම්මි ක්‍රිකට් ආයතනයේ සියළු වියදම් සඳහා තම අනුමැතිය ලබා දෙන්නේ ඇය හරහා ය. මූල්‍ය අංශයේ වෙනත් අය මෙම ගනුදෙනු පරීක්ෂා කරන්නේ ද නැත.
මාධ්‍ය ආයතනයක ප්‍රධාන විධායකයෙකුට ක්‍රිකට් විධායක සභාවට තේරී පත්විය නොහැකි වුවද තිලංගගේ ලක්බිම පුවත් පතේ ප්‍රධාන විධායක වන සුජීව ගොඩලියැද්ද ක්‍රිකට් විධායක සභාවේ සිටිමින් දීමනාවකටද හිමිකම් කියන අතර වාහන දෙකක් ද භාවිතා කරයි. ඕනෑම ක්‍රීඩාංගණයක කොන්ත්‍රාත් බාරව කටයුතු කරන්නේ ද මොහු ය. නිසි විගණනයක් විගණකාධිපති ලවා කළ යුතුව ඇත්තේ මොවුන්ගේ මේ හතර වරම් ගැහිලි නිසා වුවද තවමත් නිසි විගණනයක් සිදුකර නොමැත. මීට පෙර විගණනය නොකළ වාර්තාවක් දයාසිරි වෙත පිරි නමමින් තිලංග මාධ්‍ය සංදර්ශනයක් පැවැත්වීය.
ආපදා තත්ත්වයන් සඳහා උදව් කිරීමට බව කියමින් ක්‍රිකට් ඒඩ් නමින් වෙනම ආයතනයක් ක්‍රිකට් යටතේම ස්ථාපිත කළ තිලංග රටපුරාම ආපදා තත්ත්වයක් තිබියදී අද ඉරිදා පවත්වන මහා සභා රැස්වීමට ලක්ෂ 25 ක පමණ වියදමින් මහා පරිමාණයේ වායු සමීකරණය කළ ටෙන්ට් එකක් එස්එස්සී ක්‍රීඩාගංණයේ අටවා තිබේ. (සේයාරුවේ දැක්වේ) ආපදා ප්‍රදේශ වලට බත් පැකැට්ටුවක් නැතත්, මෙයට සභභාගී වෙතැයි අපේක්ෂා කරන 147 කින් යුතු සාමාජික ක්‍රීඩා සමාජ හා සංගම් වල නියෝජිතයන් 300 කට කොළඹ හිල්ටන් හෝටලයෙන් එක් අයෙකුට රු. 4000/- ක් පමණ වන දිවා භෝජනයක් සූදානම් කර තිබේ. ආපදා ප්‍රදේශවලට පානීය වතුර බෝතලයක් නැතත් මෙතැන ‘බියර් අන් ලිමිටඩ්‘ ය. වාර්ෂික වාර්තාව ලෙස ප්‍රචාරක ආයතනයකට විශාල මුදලක් ගෙවා පිළියෙල කර ඇති ඡායාරූප සහිතව පොතටද ලක්ෂ ගණනක් වියදම් කර ඇත.
මේ සියළු සෝබන වියදම් කරන්නේ ලබන වසරේ පැවැත්වෙන නිලවරණයේ දී යළි තේරී පත්වීම සඳහා සාමාජිකයන් නැලවීමට ය; පිනවීමට ය; බා ගැනීමට ය.
රට පුරා ආපදා තත්ත්වයක් තිබියදීත් ලක්ෂ ගණන් වියදම් කර පවත්වන මෙවැනි ජෝගි නැවැත්වීමට තිලංගගේ නායකයා ජනාධිපතිවරයාවත් නැත. දයාසිරිත් සොරි ය.
අයියෝ සල්ලි..!
-ලංකා ඊ නිව්ස් විශේෂ වාර්තා කරුවෙකු විසිනි-
---------------------------